Thursday, July 2, 2015



ක්‍රි. ව. 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි නාවිකයෝ පිරිසක්‌ ලංකාවට ගාලු වරායෙන් ගොඩබෑහ. ටික කලකට පසු ගාල්ලේ බළකොටුව ඉදිකරන ලදී. ඔවුන් එය FORTALEZA ලෙස හඳුන්වා ඇත.
ගාල්ල වරායට මුහුණලා තුන් පැත්තකින් මුහුදින් වටවී ඇති රමණීය බිම් පෙදෙසක ඉදිකළ කොටුව ඔවුන්ගේ පාලන කටයුතු සඳහා කේන්ද්‍රස්‌ථානය විය. නාවික ගමන් සඳහා පහසු තැනකි.
වර්ෂ 1640 දී ලන්දේසීන් විසින් පෘතුගීසීන්ට අයත්ව තිබුණ ගාලු කොටුව යුදකොට අත්පත් කර ගන්නා අතර ඉන්පසු මුර අට්‌ටාල වලින් සහ සුවිශේෂී වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණවලින් යුක්‌ත ගාල්ල කොටුව නිර්මාණය කෙරේ.
1815 දී ලක්‌දිව යටත් කරගන්නා ඉංග්‍රීසීන් 1948 වනතෙක්‌ ගාල්ල කොටුව පරිපාලන මූලස්‌ථානයක්‌ වශයෙන් භාවිතයට ගන්නා ලදී.
ගාල්ල ඓතිහාසික මෙන්ම ස්‌වාභාවික සුන්දරත්වයෙන් යුත් නගරයකි. දකුණු පළාතේ අගනුවරයි. රූමස්‌සල කඳුවැටිය මෙන්ම පුළුල්ව පැතිරී ඇති දර්ශනීය වෙරළ තීරය, බොනවිස්‌ටා කොරල්පරය ස්‌වාභාවික වරාය ධීවර තොටුපළ මෙන්ම කොටුපවුරද ගාල්ලේ අගය ලෝක සත්වයාහට නෙත ගැටීමට හේතු විය.
ගාලු කොටුපවුර 1871 දී පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය විසින් 1988 දී ගාලු කොටුව ලෝක උරුම ස්‌ථානයක්‌ බවට පත්කර ඇත. මුර අට්‌ටාල 14 කින් සමන්විත ගාලු කොටුපවුර ගණ්‌ඨාර කුලුන, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, පැරැණි ලන්දේසි රෝහල, වර්ණවත් වීදුරු කවුළු කළු කොටුව, ඕලන්ද දේවස්‌ථානය ඇතුළු ආගමික ගොඩනැඟිලි, පල්දොaරු හෙවත් උමං කාණු පද්ධතිය අදත් දැකිය හැකිය.

ගාලු කොටුව අක්‌කර 90 කින් යුත් භූමියකි. කොටු පවුරේ වට ප්‍රමාණය කිලෝමීටර් 3 කට ආසන්නය. ගාලු කොටුවේ උසම ස්‌ථානය ලෙස සැලකෙන සඳමුර අට්‌ටාලයේ උස අඩි 50 - 70 ත් අතරය.
ශ්‍රී සුධර්මාරාම විහාරය බොදු බැතිමතුන්ගේද මුස්‌ලිම් පල්ලිය ඉස්‌ලාම් බැතිමතුන්ගේද ආගමික කටයුතුවලට යොමු වේ. සවුත්ලන්ඩ් විද්‍යාලයේ 5000 ක්‌ පමණ සිසුවියන් අධ්‍යාපනය ලබන අතර සිසුහු 2000 ක්‌ පමණ ගාල්ල කොටුවේ ඕල්සන්ස්‌ විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරති. එදා මෙදාතුර මේ විදුහල් දෙකේ ආදි ශිෂ්‍යයන් ලක්‍ෂ ගණනකි. ශ්‍රී ලාංකිකයන්ගේ නිජ බිමක්‌ වී තිබුණ ගාල්ල කොටුව දිනෙන් දින බටහිර ජාතිකයන්ගේ පාරාදීසයක්‌  බවට දැන් පත්ව තිබේ.

 

සංචාරක ආකර්ශනය අතින් ලොව ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමින් සංචාරය සඳහා සුදුසුම ලොව නිස්කලංක රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ද එක් වෙයි.  ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ෆෝබ්ස් සඟරාව (Forbes magazin) මේ බව හෙළිකර තිබෙන අතර ඒ අනුව එළඹෙන 2015 වසරේ දී නිඳහසේ සහ නිස්කලංකවසංචාරය කළහැකි ස්ථාන සහිත රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම්කර තිබීම විශේෂත්වයක් වෙයි.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් දහය අතරට එක්වූ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ එකම රට බවට ද පත්ව තිබේ. ලොව පුරා රටවල පරිසරය මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයන් අධ්‍යයනය කරමින් ෆෝබ්ස් සඟරාව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් මේ බව අනාවරණය කර තිබෙන අතර ස්වාභාවික සුන්දරත්වය හා යටිතල පහසුකම්වල සංවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව සංචාරක ආකර්ෂණීය රටක් බවට නම්කර ඇත.
එහි ප්‍රථම ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර පිළිවෙළින් මොරොක්කෝ, වියට්නාමය, අමෙරිකාව, තස්මේනියාව, කොළොම්බියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ද එම රටවල් 10 අතරට නම්කර ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන සහ වනසතුන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇති අතර එම ස්ථාන නැරඹීම ආශ්වාදජනක වනු ඇති බව ෆෝබ්ස් සඟරාව මඟින් පෙන්වා දී තිබේ.
යාල, විල්පත්තු වනෝද්‍යාන මෙන්ම ගාලු කොටුව ද සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වන ප්‍රදේශ ලෙස හඳුන්වා දී ඇත.



















ගාල්ල ප්‍රදීපාගාරය යනු ශ්‍රී ලංකාවේ ගාල්ල නගරයේ පිහිටියා වූ පුරාණ ගාලු කොටුව තුල, මුහුදු වෙරළට ආසන්නෙයන් ඉදිකරන ලද ප්‍රදීපාගාර කණුවකි. එය නඩත්තු කිරීම සහ එහි මෙහෙයුම් පවත්වා ගැනීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසිනි.
1848 දී ඉදි කෙරූ මෙම ප්‍රදීපාගාරය, 1934 වසරේදී ගින්නකට හසුව විනාශ විය. වර්ථමානයේ දක්නට ලැබෙන්නේ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද ප්‍රදීපාගාරයයි.
මෙම ප්‍රදීපාගාරය අයත් වන සම්පූර්ණ ගාලු කොටුව භූමිය, 1988 දී යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි ලැයිස්තුවටද එක් කෙරුණි.
 

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසින් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසින් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික විතැන් කරමින් පවතී. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එය ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.