Thursday, July 2, 2015


සංචාරක ආකර්ශනය අතින් ලොව ඉමහත් ගෞරවයට පාත්‍ර වෙමින් සංචාරය සඳහා සුදුසුම ලොව නිස්කලංක රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ද එක් වෙයි.  ඇමෙරිකා එක්සත් ජනපදයේ සුප්‍රකට ෆෝබ්ස් සඟරාව (Forbes magazin) මේ බව හෙළිකර තිබෙන අතර ඒ අනුව එළඹෙන 2015 වසරේ දී නිඳහසේ සහ නිස්කලංකවසංචාරය කළහැකි ස්ථාන සහිත රටවල් දහය අතරට ශ්‍රී ලංකාව නම්කර තිබීම විශේෂත්වයක් වෙයි.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ රටවල් දහය අතරට එක්වූ ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ එකම රට බවට ද පත්ව තිබේ. ලොව පුරා රටවල පරිසරය මෙන්ම සංචාරක කේන්ද්‍රස්ථානයන් අධ්‍යයනය කරමින් ෆෝබ්ස් සඟරාව නිකුත්කළ නවතම වාර්තාවක් මඟින් මේ බව අනාවරණය කර තිබෙන අතර ස්වාභාවික සුන්දරත්වය හා යටිතල පහසුකම්වල සංවර්ධනය හේතුවෙන් ශ්‍රී ලංකාව ලොව සංචාරක ආකර්ෂණීය රටක් බවට නම්කර ඇත.
එහි ප්‍රථම ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර පිළිවෙළින් මොරොක්කෝ, වියට්නාමය, අමෙරිකාව, තස්මේනියාව, කොළොම්බියාව, ජපානය, ආර්ජන්ටිනාව, නේපාලය ද එම රටවල් 10 අතරට නම්කර ඇත. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන සහ වනසතුන් පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුකර ඇති අතර එම ස්ථාන නැරඹීම ආශ්වාදජනක වනු ඇති බව ෆෝබ්ස් සඟරාව මඟින් පෙන්වා දී තිබේ.
යාල, විල්පත්තු වනෝද්‍යාන මෙන්ම ගාලු කොටුව ද සංචාරකයින්ගේ ආකර්ශනයට ලක්වන ප්‍රදේශ ලෙස හඳුන්වා දී ඇත.

0 comments :

Post a Comment