Thursday, July 2, 2015



ක්‍රි. ව. 1505 දී ලොරෙන්සෝ ද අල්මේදා ඇතුළු පෘතුගීසි නාවිකයෝ පිරිසක්‌ ලංකාවට ගාලු වරායෙන් ගොඩබෑහ. ටික කලකට පසු ගාල්ලේ බළකොටුව ඉදිකරන ලදී. ඔවුන් එය FORTALEZA ලෙස හඳුන්වා ඇත.
ගාල්ල වරායට මුහුණලා තුන් පැත්තකින් මුහුදින් වටවී ඇති රමණීය බිම් පෙදෙසක ඉදිකළ කොටුව ඔවුන්ගේ පාලන කටයුතු සඳහා කේන්ද්‍රස්‌ථානය විය. නාවික ගමන් සඳහා පහසු තැනකි.
වර්ෂ 1640 දී ලන්දේසීන් විසින් පෘතුගීසීන්ට අයත්ව තිබුණ ගාලු කොටුව යුදකොට අත්පත් කර ගන්නා අතර ඉන්පසු මුර අට්‌ටාල වලින් සහ සුවිශේෂී වාස්‌තු විද්‍යාත්මක ලක්‌ෂණවලින් යුක්‌ත ගාල්ල කොටුව නිර්මාණය කෙරේ.
1815 දී ලක්‌දිව යටත් කරගන්නා ඉංග්‍රීසීන් 1948 වනතෙක්‌ ගාල්ල කොටුව පරිපාලන මූලස්‌ථානයක්‌ වශයෙන් භාවිතයට ගන්නා ලදී.
ගාල්ල ඓතිහාසික මෙන්ම ස්‌වාභාවික සුන්දරත්වයෙන් යුත් නගරයකි. දකුණු පළාතේ අගනුවරයි. රූමස්‌සල කඳුවැටිය මෙන්ම පුළුල්ව පැතිරී ඇති දර්ශනීය වෙරළ තීරය, බොනවිස්‌ටා කොරල්පරය ස්‌වාභාවික වරාය ධීවර තොටුපළ මෙන්ම කොටුපවුරද ගාල්ලේ අගය ලෝක සත්වයාහට නෙත ගැටීමට හේතු විය.
ගාලු කොටුපවුර 1871 දී පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්‌මාරකයක්‌ ලෙසට ප්‍රකාශයට පත්කරන ලදී. යුනෙස්‌කෝ සංවිධානය විසින් 1988 දී ගාලු කොටුව ලෝක උරුම ස්‌ථානයක්‌ බවට පත්කර ඇත. මුර අට්‌ටාල 14 කින් සමන්විත ගාලු කොටුපවුර ගණ්‌ඨාර කුලුන, ඔරලෝසු කණුව, ප්‍රදීපාගාරය, පැරැණි ලන්දේසි රෝහල, වර්ණවත් වීදුරු කවුළු කළු කොටුව, ඕලන්ද දේවස්‌ථානය ඇතුළු ආගමික ගොඩනැඟිලි, පල්දොaරු හෙවත් උමං කාණු පද්ධතිය අදත් දැකිය හැකිය.

ගාලු කොටුව අක්‌කර 90 කින් යුත් භූමියකි. කොටු පවුරේ වට ප්‍රමාණය කිලෝමීටර් 3 කට ආසන්නය. ගාලු කොටුවේ උසම ස්‌ථානය ලෙස සැලකෙන සඳමුර අට්‌ටාලයේ උස අඩි 50 - 70 ත් අතරය.
ශ්‍රී සුධර්මාරාම විහාරය බොදු බැතිමතුන්ගේද මුස්‌ලිම් පල්ලිය ඉස්‌ලාම් බැතිමතුන්ගේද ආගමික කටයුතුවලට යොමු වේ. සවුත්ලන්ඩ් විද්‍යාලයේ 5000 ක්‌ පමණ සිසුවියන් අධ්‍යාපනය ලබන අතර සිසුහු 2000 ක්‌ පමණ ගාල්ල කොටුවේ ඕල්සන්ස්‌ විද්‍යාලයේ ඉගෙනීම් කටයුතු කරති. එදා මෙදාතුර මේ විදුහල් දෙකේ ආදි ශිෂ්‍යයන් ලක්‍ෂ ගණනකි. ශ්‍රී ලාංකිකයන්ගේ නිජ බිමක්‌ වී තිබුණ ගාල්ල කොටුව දිනෙන් දින බටහිර ජාතිකයන්ගේ පාරාදීසයක්‌  බවට දැන් පත්ව තිබේ.

 

0 comments :

Post a Comment